LATEST NEWS

Jun
24

හෙට අළුයම 4ට ඉවත් කෙරෙන සංචරණ සීමා ක්‍රියාත්මක වන හැටි ගැන දැනුම් දීමක්


දෙදහස ඉක්මවා දෛනික ආසාදිතයන් තවදුරටත් වැඩි වුවහොත් සංචරණ සීමා දැඩි කිරීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අනතුරු අඟවනවා.

මේ අතර, හෙට අලුයම හතරට දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වනු ඇති.

ඊයේ රාත්‍රී 10 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවූ අතර, හෙට අලුයම සංචරණ සීමා ඉවත් කෙරුණද බස් රථ හා දුම්රිය ධාවනය තවදුරටත් පළාත් තුළ පමණක් සිදුකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියා.

මේ අතර, සංචරණ සීමාවල ප්‍රතිඵල මේ වනවිට විශ්ලේෂණය කරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

සංචරණ සීමා ලිහිල් කරන ලද කාලසීමාවේ මත්පැන් මිලිලීටර 28,500 ක ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ හෝකන්දර - සිංහපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ මත්පැන් තොගයේ වටිනාකම රුපියල් 60,000 ඉක්මවන බවයි.

සුරාබදු නිලධාරීන් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පොසොන් පොහොය දිනයේ නීතිවිරෝධී ලෙස අධික මිල ගණන්වලට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් මිලදී ගෙන ඇති බවටයි.

මේ අතර, ආණමඩුව ප්‍රදේශයේ වැවක දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ අයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම නිසා විස්සකට ආසන්න පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

අදාළ පුද්ගලයා පසුගිය 22 වනදා දියනෑමට ගිය අවස්ථාවේ දියේ ගිලී ඇති අතර, ඔහු රෝහල් ගතකළ පිරිස හඳුනාගනිමින් මෙලෙස නිරෝධායනයට යොමුකළ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් ආසාදිතයන් 40 දෙනෙකු හඳුනා ගැනුනා. එමෙන්ම ගිනිගත්හේන - කඩවල වතුයායෙන්ද නව ආසාදිතයන් 20 කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කරන්දෙණිය දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට මානසික සුවය පතා පොසොන් පොහොය යෙදුණු අද දිනයේ පිරිත් සජ්ඡායනාවක් සිදු කෙරුණා. ඒ, අදාළ රෝහල වෙත භික්ෂූන් වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුවයි.

එමෙන්ම, මුල්ලේරියාව රෝහලේ කොරෝනා ආසාදිතව නේවාසික ප්‍රතිකාර ලබන 116 දෙනෙකු සඳහා දිවා ආහාරය අද සිදු කෙරුණේ රෝහල් කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන්.

මේ අතර කොරෝනා වසංගත තත්වය හමුවේ වැලිකන්ද - සෙවනපිටිය තෙලිඟු ගම්මානයේ අහිකුණ්ඨික වැසියන් පීඩාවට පත්ව සිටිනවා.

0 Comments